ශ්‍රී ලංකා කාන්තා පිලට අයිසීසීයෙන් කෝටි 22ක්
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5 වැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකා පිලට අයිසීසීයෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂ 7ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 21ක් පමණ) තෑග්ගක් හා කාණ්ඩ අදියරේ ජයග්‍රහණයක් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 34,314ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටියක් පමණ) ලබාදීමට නියමිතය. මෙයට අමතරව එක් තරගයකට අමෙරිකානු ඩොලර් 700ක තරග ගාස්තුවක් බැගින් සෑම ක්‍රීඩිකාවකටම තරග 7ක් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 4900ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 15ක් පමණ) ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී හිටපු ලෝක ශූර කණ්ඩායමක් වන නවසීලන්තය 6 වැනි ස්ථානයට පත් කරමින් ශ්‍රී ලංකා පිල මෙවර ඉදිරියට පැමිණි අතර, බංග්ලාදේශය හා පාකිස්තානය ශ්‍රී ලංකාවට පහළින් සිටියි. අවසන් වරට 2022දී නවසීලන්තයේ පැවති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට පවා නොහැකි වූ ශ්‍රී ලංකා කාන්තා පිල මෙවර ඉදිරියට පැමිණීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාන්තා ක්‍රිකට් දියුණුව උදෙසා විශාල තරග ප්‍රමාණයක් සංවිධාන කොට ඇති අතර, විශාල මූල්‍ය ආයෝජනයක් සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රීඩිකාවන් ඉදිරියට පැමිණ තිබේ.


