ආසියානු කුසලානය අබුඩාබියේ සඟවලා ?
ආසියානු කුසලානය සම්බන්ධයෙන් පවතින නාටකය වඩාත් සංකීර්ණ වෙමින් පවතින අතර, කුසලානය ඩුබායිහි ආසියානු ක්‍රිකට් කවුන්සිල මූලස්ථානයේ සිට අබුඩාබි වෙත ගෙනගොස් රහසිගත ස්ථානයක සඟවා ඇතැයි ඉන්දීය ක්‍රිකට් නිලධාරියකු පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒඑන්අයි පුවත් වාර්තාවකට අනුව, ඉන්දියාව දිනාගත් ආසියානු කුසලානය තවදුරටත් ආසියානු ක්‍රිකට් කවුන්සිල මූලස්ථානයේ නැත. මෑතකදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරියකු ආසියානු ක්‍රිකට් කවුන්සිල මූලස්ථානය වෙත ගිය බවත්, එහිදී කුසලානය ඉවත් කර ඇති බව දැනගත් බවත් සඳහන් කොට තිබේ.
එය ආසියානු ක්‍රිකට් සභාපති සහ පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධානියා වන මොහ්සින් නක්වි මහතා භාරයේ අබුඩාබිහි ඇති බව දැනගත් බව එම ඉන්දීය ක්‍රිකට් නිලධාරියා පවසා ඇත. ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී පාකිස්තානය පරාජය කොට ඉන්දියාව ජයග්‍රහණය කිරීමෙන් පසු ඉන්දීය කණ්ඩායම පාකිස්තාන අභ්‍යන්තර කටයුතු ඇමැති නක්විගෙන් කුසලානය පිළිගැනීම ප්‍රතික්ෂේප කළේය.
ඉන්දියාව දිනාගත් ආසියානු ක්‍රිකට් කුසලානය ඉන්දියාවට නොයවන බවත් කුසලානය භාර ගැනීමට එළැඹෙන නොවැම්බර් 10දා ඩුබායි වෙත පැමිණන ලෙස ආරාධනා කරන බවත් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානියා පසුගියදා පණිවිඩයක් නිකුත් කළේය.


