ක්‍රිකට් දිවියේ දෙවැනි ගමනට සැරසෙන බ්‍රෙන්ඩන් ටේලර්
“මට දැනෙන්නේ හරියට මම මගේ මංගල තරගයට ක්රීඩා කරන්න සූදානම් වෙනවා වගෙයි “
මෙහෙම කියන්නේ සිම්බාබ්වේ ක්රිකට් කණ්ඩායමේ ජේෂ්ඨතම ක්රීඩකයා වන බ්රෙන්ඩන් ටේලර්. වසර තුනහමාරක ක්රිකට් තහනමකට ලක්ව සිටි බ්රෙන්ඩන් ටේලර් මේ දිනවල ඔහුගේ සීමිත පන්දුවාර ක්රිකට් දිවියේ දෙවැනි ගමන ආරම්භ කරන්න සූදානම් වෙනවා. ඒ, ලබන සිකුරාදා ඇරඹෙන ශ්රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලියෙන්. ශ්රී ලංකාව සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සදහා ඊයේ දින නම් කරන ලද ක්රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඔහුගේ නමත් කලකට පසු ඇතුළත්ව තිබෙනවා.ටේලර් අවසන්වරට එක්දින තරගයකට සහභාගිවී තිබුණේ 2021 වසරේ සැප්තැම්බර් මාසයේදීයි.
බ්රෙන්ඩන් ටේලර් කියන්නේ කාලයක් සිම්බාබ්වේ කණ්ඩායමට නැතුවම බැරි වුණු ක්රීඩකයෙක්. අදටත් සිම්බාබ්වේ වෙනුවෙන් වැඩිම අන්තර්ජාතික ලකුණු රැස්කළ පිතිකරුවන් අතර ඔහු පසුපසින් සිටින්නේ ඇන්ඩි ෆ්ලවර් සහ ග්රාන්ට් ෆ්ලවර් දෙසොහොයුරන්ට පමණයි. ඒ වගේම ඔහු සිම්බාබ්වේ කණ්ඩායමේ හිටපු නායකයෙක්.අලංකාර පහරවල් සහිත පිතිකරුවෙක් විදියට ඔහු අනෙක් ක්රීඩකයන් අතරේ වඩාත් කැපීපෙනුණා. නමුත්,මීට වසර හතරකට පමණ කලින් බ්රෙන්ඩන් ටේලර් වටා ගොඩනැගී තිබූ මේ සියලු කිර්තිමත් දෑ මොහොතකින් සුණුවිසුණුවී ගොස් ඔහුගේ ක්රිකට් දිවිය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වුණා.
2022 ජනවාරි 28 වන දින, අයි.සී.සී දූෂණ විරෝධී නීති සංග්රහය සහ තහනම් උත්තේජක නීති සංග්රහය උල්ලංඝනය කර ඇති බව සොයා ගැනීමෙන් පසු, අයි.සී.සී ය විසින් ටේලර්ට වසර 3 1⁄2 ක ක්රිකට් තහනමක් පනවණු ලැබුවා.
ඒ,ටේලර් කොකේන් නම් මත්ද්රව්ය භාවිතා කර ඇති බව සහ ඩොලර් 15000 ක් වෙනුවෙන් තරග පාවාදීම සඳහා ඉන්දීය ව්යාපාර්කයෙකුගෙන් අල්ලස් ලබා ගත් බව ඔප්පු වීමෙන් අනතුරුවයි.
2021 වසරේදී අයර්ලන්තය සහ සිම්බාබ්වේ අතර පැවති තරගාවලියක් අතරතුර සිදුකරන ලද පරීක්ෂණයක අවසන් ප්රතිඵලය විදියටයි ඔහුට මේ තහනම පැනවුණේ. ටේලර් දූෂණ විරෝධී නීති සංග්රහයේ වගන්ති හතරක් උල්ලංඝනය කළ බව අන්තර් ජාතික ක්රිකට් කවුන්සිලය මෙහිදී තහවුරු කර තිබුණා.
ටේලර් මෙම චෝදනා මුළුමනින්ම ප්රතික්ෂේප කළේ නැහැ.
සිම්බාබ්වේහි විස්සයි20 තරගාවලියක් සංවිධානය කිරීම පිළිබද සාකච්ඡා කිරීමට තමන්ව ඉන්දියාවට කැදවාගත් ඉන්දීය ව්යාපාරිකයන් කිහිපදෙනෙක්,එම හමුවේදී තමන්ට කොකේන් ලබාදුන් බවත්,පසුව කොකේන් ගන්නා ඡායාරූප ප්රසිද්ධ කරන බවට තර්ජනය කිරීමෙන් පසු ව්යාපාරිකයන් විසින් තමාව බ්ලැක්මේල් කර පාවාදීමකට එකග කරවාගත් බව ඔහු මෙම සිදුවීම විස්තර කරමින් සදහන් කළා .එමෙන්ම තමන් අමෙරිකානු ඩොලර් 15000 ක් එම අවස්ථාවේ ලබාගත් බවත් ඔහු පිළිගෙන තිබුණා.
මෙම සිදුවීමත් සමග බ්රෙන්ඩන් ටේලර් තමන් ක්රිකට් දිවියෙන් සමුගන්නා බව ප්රකාශයට පත් කළා.
බ්රෙන්ඩන් ටේලර් කියන චරිතය එයින් පසු හැමෝටම අමතක වී යාමට ඉඩ තිබුණත් එය එසේ වුණේ නැහැ.
කාලය ගෙවීයාමත් සමග දෛවය විසින් ඔහුට නැවත අවස්ථාවක් ලබාදී තිබෙනවා.
ඔහුගේ තරග තහනම පසුගිය ජූලි මාසයේදී අවසන් වුණා.
ඔහු කෙරෙහි තවමත් විශ්වාසය තබා සිටින සිම්බාබ්වේ ක්රිකට් තේරීම් කමිටුව ඔහුට ක්රිකට් පිටියේ සුපුරුදු දස්කම් දක්වන්නට නැවත අවස්ථාවක් ලබාදී තිබෙනවා.
ඒ අනුව මෙම මස මුලදී නවසීලන්තය සමග පැවති ටෙස්ට් තරගයකට ක්රීඩා කිරීමට ඔහුට අවස්ථාව හිමිවුණා.
ලබන වසරේ පෙබරවාරි මාසයේ ටේලර්ට වයස අවුරුදු 40ක් සම්පූර්ණ වෙනවා .නමුත් තමන්ගේ ක්රිකට් දිවියේ දෙවැනි ගමනට වයස බාධාවක් කරගන්න ඔහු සූදානම් නැහැ.
“මම පසුගිය කාලය පුරාම නැවත අන්තර්ජාතික ක්රිකට් පිටියට එන්න පුරුදු පුහුණු වුනා” ටේලර් එහෙම කියනවා.
තරග පාවාදීමේ චෝදනාවේ කැලලත් සහිතව අපකීර්තිමත් ක්රීඩකයෙකු ලෙස ක්රිකට් පිටියෙන් සමුගැනීමට නියමිතව සිටි බ්රෙන්ඩන් ටේලර් සිය දෙවැනි ගමනේදී තමන්ගේ නම ක්රිකට් පිටියේ කෙතරම් ඉහළ තැනකට ඔසවා තැබීමට සමත් වේදැයි ඉදිරියේදී දැකබලා ගන්නට ලැබේවි.


