අපේ ඔලිම්පික් ක්‍රිකට් සිහින සුන්ද?
වසර 128ක දීර්ඝ විවේකයකින් පසු ක්‍රිකට් ක්‍රීඩාව යළිත් වරක් ඔලිම්පික් කරළියට පිවිසීමට නියමිතය. 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේදී පිරිමි සහ කාන්තා විස්සයි විස්ස තරගාවලි පැවැත්වීමට ගෙන ඇති මෙම පියවර ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට නව ජීවයක් එක් කරන ඓතිහාසික තීරණයක් ලෙස සැලකිය හැකිය.
ප්‍රේක්ෂක පිරිස අතින් සැලකීමේදී ලොව දෙවැනියට වඩාත් ජනප්‍රිය ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවැනි ඔලිම්පික් සම්ප්‍රාප්තිය පිළිබඳ පුවත මගින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත ප්‍රභල රටවල් කිහිපයකටම නව සිහින ගෙනා නමුත් එම සිහිනය ‘උපන් ගෙයිම’ බොඳව යනු ඇතිදැයි සිතන්නට කරුණු සකස් වී ඇති සෙයකි. ඒ ඔලිම්පික් වරම් හිමිකර දෙන කණ්ඩායම් තෝරාගැනීමේ ක්‍රමවේදයයි. ශ්‍රී ලංකාව වැනි රටකට ඔලිම්පික් පදක්කම් සිහිනය සැබෑ කර ගැනීමට ඇති දුර්ලභ අවස්ථාව මෙම තෝරා ගැනීමේ ක්‍රමය මත රැඳී ඇත.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අතර සාකච්ඡාවලින් අනතුරුව ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ඇතුළත් කිරීම පිළිබඳ තීරණය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩලය මගින් ස්ථිර කෙරුණි. ඒ අනුව පිරිමි සහ කාන්තා ලෙසින් විස්සයි විස්ස තරගාවලි 2ක් පැවැත්වෙන නමුත් ඔලිම්පික් සහභාගිත්ව වරම් හිමිවන්නේ පිරිමි කණ්ඩායම් 6කට සහ කාන්තා කණ්ඩායම් 6කට පමණි. එහිදී එක් කණ්ඩායමකට ඇතුළත් කළ හැකි ක්‍රීඩක හෝ ක්‍රීඩිකාවන් ගණන 15කි. නමුත් මෙහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටවල් 12 අතරින් කා හට ඔලිම්පික් වරම හිමි වේද යන්න පිළිබඳ තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත.
කෙසේ නමුත් මේ වනවිට සුදුසුකම් ලබාදීමේ ක්‍රමවේදයක් පිළිබඳව සාකච්ඡා වෙමින් පවතින බව කනින් කොනින් අසන්නට ලැබේ. ඒ මහාද්වීපික පදනම මත සුදුසුකම් ලබාදීමය. එනම් ඔලිම්පික් ලාංඡනයේ වළලු පහ ඔස්සේ ද නියෝජනය වන අප්‍රිකාව, ඇමරිකාව, ආසියාව, යුරෝපය සහ ඕෂනියාව යන මහාද්වීප පහ සඳහා එක් අවස්ථාව බැගින් ලබා දීමය. මෙහිදී තවත් එක් අවස්ථාවක් ඉතිරි වුවද සත්කාරකයන් හෙයින් එම අවස්ථාව නිතැනින්ම ඇමරිකාවට සින්න වන්නේය. ෙමම ක්‍රමය ඔස්සේ මහාද්වීපවල එකමුතුව, ලොව පුරා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ රැස්වීම සංකේතවත් කිරීම, විශ්වීයත්වය, විවිධත්වය සහ ජාතීන්ගේ එකමුතුව පිළිබඳ අදහස ප්‍රකාශ කිරීම වැනි ඔලිම්පික් ක්‍රීඩාවේ මූලධර්මවලට මුල් තැන ලබාදීම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ බලාපොරොත්තුවය. එනමුත් මෙම ක්‍රමයේ ඇති ප්‍රධාන ගැටලුව වන්නේ එය කෙතරම් සාධාරණද යන්නය. එහිදී මහාද්වීපයේ සිටින කණ්ඩායම් කිහිපයක් අතරින් ශ්‍රේණිගතකිරීම්වල ඉහළින්ම සිටින කණ්ඩායමට හෝ මහාද්වීපයේ කණ්ඩායම් අතර තරගාවලියකින් ජයගන්නා කණ්ඩායමට පමණක් සුදුසුකම් හිමි වනු ඇත.
කනගාටුවට කරුණ වන්නේ ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රභල රටවල් වන අසියාව නියෝජනය කරන ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය වැනි රටවල් අතරින් එක් කණ්ඩායමකට පමණක් අවස්ථාව හිමි වීමය. වර්තමානයේ ක්‍රිකට් තරගාවලියක අනිවාර්යම අංගයක් බවට පත්ව තිබෙන මෙන්ම මුදල් ගලා එන තරගයක් වන ඉන්දු – පාකිස්තාන තරගයක් පැවැත්වීමට කිසිදු ඉඩක් නැති වන්නේය. ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අයත් වන ඕෂනියාවේ මෙන්ම අනෙක් මහාද්වීපවලද තත්ත්වය එයමය. කෙසේ වෙතත් අවසන ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රාහකයන් පිරිසකට ප්‍රවේශපත් මිලදීගෙන නරඹන්නන් ලෙස ප්‍රේක්ෂකාගාරයේ හිඳ ගැනීමට සිදු වනු ඇත.
මෙම ක්‍රමයෙන් බැහැරව සාමාන්‍ය ක්‍රමවේදය වන ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව, යම් නිශ්චිත දිනකදී ඉහළම ශ්‍රේණිගත කිරීම්වල සිටින කණ්ඩායම් හයට ඔලිම්පික් වරම් ලබා දුනහොත් ලෝව හොඳම කණ්ඩායම් පමණක් තරග කරන වඩාත් තරගකාරීත්වයක් සහිත ගුණාත්මක තරගාවලියක් දැකබලාගත හැකිවනු ඇත. එමෙන්ම තවමත් ඔලිම්පික් පදක්කම් දෙකක් පමණක් හිමි රටක් වන ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීම් ඔස්සේ සුදුසුකම් ලබමින් තෙවැනි ඔලිම්පික් පදක්කමක් ජය ගැනීම සඳහා ප්‍රභල මෙන්ම දුලභ අවස්ථාවක් උදාවනු ඇත.
කෙසේ හෝ අවසානයේදී, ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරගාවලිය ක්‍රිකට් ක්‍රීඩාවේ තරගකාරිත්වය ආරක්ෂා වන අයුරින් ලොව හොඳම කණ්ඩායම් සමගින් පවත්වනවා ද, නැතහොත් ඔලිම්පික් මූලධර්මවලට අනුව ගෝලීය ව්‍යාප්තියට මුල් තැන දෙමින් පවත්වනවා ද යන අවසන් තීන්දුව රැඳී ඇත්තේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අතය.
(උපුටාගැනීම -සතිඅග අරුණ )


