ශ්‍රී ලංකා - පාකිස්තාන තීරණාත්මක තරගය අද
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සුපිරි 4 වටයේ තීරණාත්මක තරගය අබුඩාබි හිදී අද (23 ) රාත්‍රියේ පැවැත්වේ. පෙරේදා පැවැති තරගය බංග්ලාදේශය හමුවේ පරාජය වීම හේතුවෙන්, තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ශ්‍රී ලංක කණ්ඩායමට අද තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වනු ඇත.
අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම් සංයුතියේ වෙනස්කමක් සිදුවේයැයි අපේක්ෂා කළ හැකිය. නිත්‍ය පන්දු යවන්නන් සිව් දෙනකුගෙන් ක්‍රීඩා කිරීමේදී, කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කිරීම ඇතැම් අවස්ථාවල අසීරු වන බවත්, එම නිසා පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු කණ්ඩායමට ඇතුළත් කිරීම පිළිබඳව සාකච්ඡා කරමින් පවතින බවත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ඊයේ පැවති මාධ්‍ය හමුවේදී සදහන් කළේය. එමෙන්ම ඩුබායි පිටියට සාපේක්ෂව, අබුඩාබි පිටිය පිතිකරුවන් සහ වේග පන්දු යවන්නන් සඳහා වාසිදායක බවත්, එබැවින් දඟ පන්දු යවන්නකුගේ වෙනස්කමක් සිදුවිය හැකි බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.
සුපිරි හතර දෙනාගේ වටයේ සිය පළමු තරගය ඉන්දියාව හමුවේ පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව මෙන්ම පාකිස්තාන කණ්ඩායමද තවමත් ප්‍රසාද ලකුණු රහිතව පසු වෙයි. තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව අබුඩාබි පිටියේ තරග දෙකක් ක්‍රීඩා කළ අතර එම තරග දෙකම හඹායමින් ජයග්‍රහණය කිරීමට සමත් විය.


