leadsportz

වසර 7කට පසු එංගලන්තය ශ්‍රී ලංකාවේ සීමිත පන්දුවාර සංචාරයක

ලබන වසරේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් සඳහා එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කළේය.

එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් මෙම සංචාරයේදී දෙරට අතර පැවැත්වීමට නියමිත අතර, සීමිත පන්දුවාර තරගාවලියක් සඳහා එංගලන්ත කණ්ඩායම මෙරට තරග සංචාරයකට එක්වන ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.


අවසන් වරට 2018 වසරේදී එංගලන්ත කණ්ඩායම මෙරට සීමිත පන්දුවාර සංචාරයක් සඳහා පැමිණි අතර එහිදී තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ ජය තරග 3-1ක් ලෙස ද පැවැති එකම විස්සයි විස්ස තරගය ලකුණු 30කින් ද ජය ගැනීමට එංගලන්තය සමත් විය.


දෙරට අතර පැවැති අවසන් විස්සයි විස්ස තරගය 2022 විස්ස‍යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරගයක් ලෙස පැවැත්වුණු අතර එහිදී ද එංගලන්ත කණ්ඩායමට කඩුලු 4ක ජයක් හිමි විය.

ශ්‍රී ලංකා එංගලන්ත එක්දින තරගාවලිය ආරම්භ කරමින් ප්‍රථම තරගය ජනවාරි 22 වැනිදා පැවැත්වෙන අතර, දෙවැනි තරගය 24 වැනිදාත්, තෙවැනි තරගය 27 වැනිදාත් කොළඹදී පැවැත්වේ. විස්සයි විස්ස තරගාවලියේ ප්‍රථම තරගය ජනවාරි 30 වැනිදාත්, දෙවැනි තරගය පෙබරවාරි 1 වැනිදාත්, තෙවැනි තරගය පෙබරවාරි 3 වැනිදාත් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

Scroll to Top