රග්බි නිලවරණයට දින තීන්දු වේ
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලවරණය සමගින් වාර්ෂික මහ සභාව සැප්තැම්බර් මස 9 වැනිදා පැවැත්වීමට නියමිත බව ඊයේ (29) නිවේදනය කෙරිණි. ඒ පෙරේදා (28) පැවැති විශේෂ මහ සභාවේදී නිලවරණ කමිටුව පත්කර ගැනීමෙන් අනතුරුවය.
ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශාලාවේදී පෙරේදා පැවැති විශේෂ මහ සභාවේදී රග්බි ආයතනයේ ලියාපදිංචි සාමාජිකයන් විසින් තෝරාගත් නිලවරණ කමිටුවේ සභාපති ලෙස විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය නම් කෙරිණි. එහි සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු නිමල් රණවීර, විශ්‍රාමික මැතිවරණ කොමසාරිස් ජනරාල් සහ මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සාමාජික එම්.එම්. මොහොමඩ්, දිලුම් දයාරත්න සහ රිෆ්ටි ෆාමි තෝරගෙන ඇත.
සැප්තැම්බර් මස 9 වැනිදාට යෙදුණු වාර්ෂික මහ සභාව ද එදින සවස 3ට ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශාලාවේදීම පැවැත්වීමට සැලසුම් කර ඇත. එහිදී ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලධාරී මණ්ඩලය සහ විධායක කමිටු සාමාජිකයන් තෝරා පත් කර ගැනීමට නියමිතය.


