රග්බි නිලවරණය අද
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලවරණය පැවැත්වීම සඳහා වූ නෛතික බාධා අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඊයේ වන විට විසඳා ගැනීමට හැකියාව ලැබීම හමුවේ ශ්‍රී ලංකා රග්බි මහ සභාව සහ නිලවරණය අද (8 ) ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පස්වරු 3ට පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලවරණය සඳහා නාමයෝජන හිමි නොවූ පාර්ශ්වයක් විසින් සිය මානව හිමිකම් කඩවූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (7 ) ප්‍රතික්ෂේප කෙරුණි.
එමෙන්ම ශ්‍රී ලංකා රග්බි කාර්ය සාධන බලකාය විසින් රග්බි ව්‍යවස්ථාව වෙනස් කිරීමට ගත් තීරණය නීතියට පටහැනි බව සඳහන් කරමින් පෙත්සම්කරුවන් පිරිසක් අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම නිශ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ගත් තීන්දුව සම්බන්ධයෙන් නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට අදාළ පෙත්සම්කරුවන් පියවර ගෙන තිබූ නමුත් අභියාචනාධිකරණයේ තීන්දුව නිවැරදි බව තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය රග්බි ආයතනයේ නව නිලධාරි මණ්ඩලය පත්කර ගැනීම සඳහා මහ සභාව පැවැත්විමට හැකි බව පසුගියදා ප්‍රකාශ කළේය. අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ පියවර ගෙන තිබිණි.
මේ අනුව අවස්ථා කිහිපයකදීම කල් දැමීමට සිදු වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට රග්බි වෙත තහනමක අවධානමක් පවා මතුව තිබූ මහ සභාව සහ නිලවරණය අද පැවැත්වෙන අතර එහිදී සභාපති ධුරය සඳහා හිටපු සභාපතිවරයකු වන ලසිත ගුණරත්න සහ පවිත්‍ර ප්‍රනාන්දු තරග කරනු ඇත.


