පැතුම් විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ තවත් ඉහළට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නවතම ශ්‍රේණිගතකිරීම් ඊයේ (8) නිකුත් කෙරුණු අතර එහිදී ශ්‍රී ලංකා පිතිකරු පැතුම් නිස්සංක එහි විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමෙහි 4වැනි ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ. ඒ අනුව මෑත කාලීන ශ්‍රී ලංකා පිතිකරුවකු වාර්තා කළ ඉහළම ශ්‍රේණිගත කිරීම් ස්ථානය හිමිකර ගැනීමට පැතුම් සමත්වීම විශේෂත්වයකි.
පැතුම් දැනට ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු ලද ඉහළම ශ්‍රේණිගත කිරීම් ස්ථානය වන 5වැනි ස්ථානය මින් පෙර ලබා සිටි අතර, කුසල් පෙරේරා ද මින් පෙර එම ස්ථානයට හිමිකම් කීවේය. එහෙත් මෑත කාලීන ක්‍රීඩකයකු 2013 වසරෙන් පසු ලබාගත් ඉහළම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම බවට මෙය වාර්තා අතරට පත්වේ. මින් පෙර 2009 වසරේදී තිලකරත්න දිල්ශාන් ශ්‍රේණිගත කිරීම්හි ප්‍රථම ස්ථානයට පත් වූ අතර, එම වසරේම සනත් ජයසූරිය දෙවැනි ස්ථානයටත් කුමාර් සංගක්කාර තෙවැනි ස්ථානයටත් පත්වූහ. 2010 වසරේදී මහේල ජයවර්ධන සිව්වැනි ස්ථානයට හිමිකම් කී අතර, ඒ අනුව ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු ශ්‍රේණිගත කිරීම්හි සිව්වැනි ස්ථානයට පත්වනුයේ වසර 15කට පසුවීම විශේෂත්වයකි.
පැතුම්ට අමතරව කුසල් පෙරේරා එහි 9 වැනි ස්ථානයේ රැඳී සිටින අතර, විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ වනිඳු හසරංග 6 වැනි ස්ථානයේත් නුවන් තුෂාර 8 වැනි ස්ථානයේත් රැඳී සිටිති.


