යාපනයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක්
උතුරු සහ නැඟෙනහිර පළාත්වලට අඩුපාඩුවක්ව පැවති ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක අඩුව සපුරාලමින් යාපනය මණ්ඩතිව් දූපතෙහි ඉදි කෙරෙන ‘යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය’ සඳහා මුල්ගල් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු විය.
දිගු කාලීන සැලැස්මක් යටතේ මණ්ඩතිව් දූපතේ අක්කර 138ක භූමි භාගයක් පුරා ජාත්‍යන්තර මට්ටමේ ඉහළම පහසුකම්වලින් සමන්විත ‘ක්‍රීඩා නගරයක්’ ඉදි කිරීම පිළිබඳ සැලසුම ද මෙහිදී ප්‍රකාශයට පත් කරන ලදි.
මේ ක්‍රීඩා නගරය පිහිනුම් තටාකාංගණයක්, අනෙකුත් ක්‍රීඩාවලින් සමන්විත අංග සම්පූර්ණ ගෘහස්ථ ක්‍රීඩාගාරයක්, තරු පන්තියේ හෝටල් හා අවන්හල්, සුඛෝපභෝගී මහල් නිවාස, සාප්පු සංකීර්ණ මෙන්ම විනෝදාස්වාද මධ්‍යස්ථානවලින් ද සමන්විත වනු ඇත.
මෙහි අක්කර 48ක් පුරා විහිදෙන ක්‍රිකට් ක්‍රීඩාංගණය අදියර 4ක් යටතේ ඉදිවන අතර, එය මධ්‍ය තණතීරු 10කින් සමන්විත වනු ඇත. එහි පළමු අදියර ලෙස තරග පැවැත්විය හැකි මට්ටමට ක්‍රීඩාංගණය සහ ක්‍රීඩාගාරය ඉදි කෙරෙනු ඇත.
දෙවැනි අදියර යටතේ ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය සහ මාධ්‍ය කුටිය ද, තෙවැනි අදියර යටතේ සෙසු ප්රේක්ෂකාගාර ඉදිකිරීමට නියමිත අතර, අවසන් අදියරේදී විදුලි අලෝක පද්ධතිය ස්ථාපිත කිරීමට ද නියමිතය. යාපනය, වෙලනෙයි ප්‍රාදේශීය සභාව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දී ඇති භූමියක ඉදි කෙරෙන මේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ 40,000කට ආසන්න ප්‍රේක්ෂක සංඛ්‍යාවකට තරග නැරඹීමේ අවස්ථාව හිමි වේ.
එසේම ජාත්‍යන්තර මට්ටමේ දිවා/රාත්‍රී තරග පැවැත්වීමේ පහසුකම් සහිතව ශ්‍රී ලංකාවේ ඉදිවන පස්වැනි ක්‍රීඩාංගණය ලෙස ද, ජාත්‍යන්තර තරග පැවැත්විය හැකි හත් වැනි ක්‍රීඩාංගණය ලෙසද යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉතිහාස ගතවනු ඇත.


