ජාතික ක්‍රීඩා සංගම් 3ක පාලනයට තහනමක්
මලල ක්‍රීඩා, මේස පන්දු හා ජිම්නාස්ටික් යන ජාතික ක්‍රීඩා සංගම් තුනේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා එම සංගම්වල පරිපාලන බලය ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පවරාදීමට ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා ඊයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
ක්‍රීඩා පනත සහ එහි සංශෝධන අනුව සහ ඒ යටතේ නිකුත් කරන ලද විධිවිධාන අනුව එම ක්‍රීඩා සංගම්වල පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීම සඳහාත්, නව නිලධාරීන් පත්කර ගැනීම සඳහා වූ නිලවරණ ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීම සඳහාත් යන සීමිත කාරණා සඳහා ඊයේ දිනයේ සිට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා එම සංගම්වල නිසි බලධාරියා ලෙස පත්කළ බව එම අති විශේෂ ගැසට් නිවේදනය මඟින් දක්වා තිබේ.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිලවරණය පසුගිය 18 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණ ද නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමන ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝග කළේය. නිසි පරිදි පත්කොට නැති නිලවරණ කමිටුව සංශෝධනය කරන ලෙසත්, එම නිලවරණ කමිටුව මඟින් ප්‍රතික්ෂේප කොට තිබූ වෛද්‍ය ධම්මික සේනානායක මහතාගේ ලේකම් තනතුරට අදාළ නාමයෝජනාව පිළිගත යුතු බවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට ලිඛිතව දැනුම්දී ඇත.


