leadsportz

බේබි ඒ.බී ගෙන් වාර්තා පිට වාර්තා

සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක පිතිකරුවකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමට ‘බේබි ඒ.බී’ නම් අන්වර්ත නාමයෙන් හඳුන්වන ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ඊයේ (12) සමත් විය.

ඔහු එහිදී පන්දු 56කින් නොදැවී ලකුණු 125ක් රැස් කළ අතර තරගය ලකුණු 53කින් ජයගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වූයේ ඔස්ට්‍රේලියවට එරෙහිව ලකුණු පරතරයෙන් ලැබූ විශාලතම ජයග්‍රහණය වාර්තා කරමිනි.

ඩාර්වින් හිදී රාත්‍රි තරගයක් ලෙස පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 218ක් රැස්කිරීමට සමත්විය. එය ඔවුන් ඔස්ට්‍රේලියාවට එරෙහිව විස්සයි විස්ස තරගයක රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා විණි. එහිදී 22 හැවිරිදි බ්‍රෙවිස් පන්දු 41කදී ශතකය කරා ළඟා වූයේ දකුණු අප්‍රිකාව වෙනුවෙන් දෙවැනි වේගවත්ම විස්සයි විස්ස ශතකය වාර්තා කරමින් මෙන්ම විස්සයි විස්ස ශතකයක් රැස් කළ ළාබාලතම දකුණු අප්‍රිකානුවා බවට පත්වෙමිනි.

Scroll to Top