දැල්පන්දු ක්‍රීඩිකාවන්ගේ තීරණාත්මක තරගය අද
දකුණු කොරියාවේ ජියොන්ජු හි පැවැත්වෙන ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන අවසන් හා තීරණාත්මකම තරගය අද (1 වැනිදා) සිංගප්පූරු කණ්ඩායම සමග පැවැත්වේ. සිය පළමු සහ දෙවැනි තරග දෙකම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (30 වැනිදා) පැවැති තෙවැනි තරගයේදී මැලේසියා කණ්ඩායම හමුවේ ලකුණු 40-62ක් ලෙස පරාජයට පත් වීම හේතුවෙන් ඉදිරි වටය පිළිබඳ බලපොරොත්තු තබා ගැනීම සඳහා අද තරගය ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍ය වනු ඇත.
ඊයේ තරගය ආරම්භයේ සිටම මැලේසියා ක්‍රීඩිකාවන් තරගයේ පෙරමුණ ගැනීමට සමත් වූ අතර ප්‍රථම කාර්තුව අවසානයේ ලකුණු තත්ත්වය 14-10ක් ලෙස පැවැතිණි. එම තත්ත්වය දෙවැනි කාර්තුවේ සිට තවත් ඉදිරියට ගෙන ගිය ප්‍රබල මැලේසියානු ක්‍රීඩිකාවෝ දෙවැනි කාර්තුවේදී ලකුණු 11-9ක්, තෙවැනි කාර්තුවේදී ලකුණු 21-8ක් සහ සිව්වැනි කාර්තුවේදී ලකුණු 16-13ක් ලෙස ලකුණු තත්ත්වය පවත්වාගෙන ගියහ.
සිංගප්පූරුව සමගින් අද පැවැත්වෙන තරගය, ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටයේ හිමි අවසන් තරගය අද වන අතර තරගය මෙරට වේලාවෙන් පස්වරු 12.30ට ඇරැඹීමට නියමිතය.


