ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට
තවත් පදක්කම් පහක්
තායිලන්තයේ බැංකොක් හි පතුම්තනි ක්‍රීඩාංගණයේ පැවැත්වූ තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී තවත් රන් පදක්කම් 3ක් සමගින් පදක්කම් 5ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඊයේ (24) සමත් වූහ. ඒ සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමට රන් පදක්කම් 6ක් රිදී පදක්කම් 4ක් සහ එක් ලෝකඩ පදක්කමක් සමගින් මුළු පදක්කම් 11ක් හිමි විය.
දිනයේ උදෑසන පැවැති මීටර 5000 දිවීම පිරිමි ඉසව්වේදී ශ්‍රී ලංකා ක්‍රීඩක වක්ෂන් වික්නරාජ් එහි රන් පදක්කම හිමිකරගත් අතර එහිදී ඔහු වාර්තා කළ තරග නිමි කාලය මිනිත්තු 15 තත්පර 4.56කි.
මීටර 800 දිවීම පිරිමි සහ කාන්තා ඉසව්වල අවසන් තරගවලදී රන් පදක්කම් හිමි කරගැනීමට රුසිරු චතුරංග සහ නිමාලි ලියනාරච්චි සමත් වූහ. එහිදී රුසිරු මිනිත්තු 1 තත්පර 50.01ක තරග නිමි කාලයක් වාර්තා කරද්දී නිමාලි මිනිත්තු 2 තත්පර 19.46ක තරග නිමි කාලයක් වාර්තා කිරීමට සමත් විය.
අයෝමාල් අකලංක මීටර 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ අවසන් තරගයේදී තත්පර 50.75ක කාලයක් වාර්තා කරමින් රිදී පදක්කමට හිමිකම් කීවේය. පිරිමි තුන් පිම්ම ඉසව්වෙ ලෝකඩ පදක්කම මීටර 15.94ක දක්ශතාවක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩක සෆ්රීන් අහමඩ් නජිමුදීන් විසින් දිනා ගත්තේය.


