ශ්‍රී ලංකා ක්රීඩිකාවෝ වසර 9කට පසු කොදෙව් දේශයට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා වසර 9කට පසු බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යෑමට නියමිතය.
ලබන මස අගදී ආරම්භ වන මේ සංචාරයේදී කොදෙව් – ශ්‍රී ලංකා ක්රීඩිකාවෝ එක්දින තරග 3ක් සහ විස්සයි20 තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිතය.
ලබන මස 20 වැනිදා පළමු එක්දින තරගයෙන් සංචාරය ආරම්භ වන අතර, දෙවැනි සහ තෙවැනි එක්දින තරග ලබන මස 22 සහ 25 දිනවල පැවැත්වේ. පෙබරවාරි 28 වැනිදා විස්සයි20 තරගාවලිය ආරම්භ වන අතර, මාර්තු 1 සහ 3 දෙවැනි සහ තෙවැනි විස්සයි20 තරග පැවැත්වේ. මේ සියලු තරග සාන්ත ජෝර්ජ්හි ග්‍රෙනාඩා ජාතික ක්‍රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අවසන් වරට කොදෙව්හිදී තරගාවලියකට එක් වූයේ 2017 වසරේදීය. එහිදී තරග 3කින් සමන්විත එක්දින සහ විස්සයි20 තරගාවලි ද්විත්වයක් පැවති අතර, ඒ සියලු තරග ජය ගැනීමට කොදෙව් ක්රීඩිකාවෝ සමත් වූහ.


