පාසල් ක්‍රිකට් තරගාවලි 11ක් කල්යයි
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධාන කරන තරගාවලි සියල්ල දින නියමයකින් තොරව කල් දැමීමට එම සංගමය පෙරේදා (1 වැනිදා) තීරණය කර ඇත.
මේ අනුව මේ දිනවල පැවැත්වෙමින් තිබූ වයස් කාණ්ඩ 2ක, බාලක සහ බාලිකා තරගාවලි 11ක් නැවත දැනුම් දෙනතුරු නවතා දමා තිබේ. වයස අවුරුදු 13න් පහළ බාලක, පළමු සහ දෙවැනි කාණ්ඩවල අවසන් 16 දෙනාගේ වටයේ තරග සහ තෙවැනි කාණ්ඩයේ පළමු වටයේ තරග ඇතුළත් තරගාවලි 3ක් මෙලෙස කල් දැමීමට කටයුතු කළ තරගාවලි අතරට අයත්ය.
එමෙන්ම මූලික වටයේ තරග පැවැත්වෙමින් තිබූ වයස අවුරුදු 19න් පහළ බාලක පළමු, දෙවැනි සහ තෙවැනි කාණ්ඩවල ‘ඒ’ සහ ‘බී’ කොටසේ දෙදින සහ සීමිත පන්දුවාර තරගාවලි 6ක් හා මූලික වටයේ තරග පැවැත්වෙමින් තිබූ වයස අවුරුදු 19න් පහළ බාලිකා පළමු සහ දෙවැනි කාණ්ඩවල සීමිත පන්දුවාර තරගාවලි 2ක් මෙලෙස කල් දැමීමට ලක්වූ සෙසු තරගාවලි වේ.


