ශ්‍රී ලංකා යොවුන් කාන්තා වොලිබෝල් පිලට ලෝකඩ පදක්කම
මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධාන කළ මධ්‍යම ආසියානු අවුරුදු 19න් පහළ කාන්තා වොලිබෝල් ශූරතාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.
කණ්ඩායම් 4ක සහභාගිත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති තරගාවලියේ තෙවැනි ස්ථානය වෙනුවෙන් සත්කාරක ශ්‍රී ලංකාව සහ මාලදිවයින තරග වැදුණු අතර, එහිදී වට 3-0ක පහසු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකි විය.
එම තරගයේ පළමු වටය ලකුණු 25-6ක් ලෙස පහසුවෙන් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දෙවැනි වට 25-11ක් සහ තෙවැනි වටයේදී 25-10ක් ලෙස ජයග්‍රහණ වාර්තා කළහ.
පෙරේදා පැවති අවසන් පූර්ව වටයේ පළමු තරගයේදී ප්‍රබල සටනක් දුන්නත් කිරිගිස්තානය හමුවේ වට 3-0කින් (26-24, 25-21, 25-15) පරාජය වීමට ශ්‍රී ලංකා පිලට සිදු විය. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම සඳහා වන අවසන් තරගය අහිමි වී ගියේය.


