ශ්‍රී ලංකාවට ඉදිරි තරග තුනම ජය ගැනීම අනිවාර්යයි
ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මේ දක්වා මුහුණ දී ඇති තරග හතරෙන් තරග දෙකකටම වර්ෂාවෙන් බාධා ගෙන දුන් හෙයින් ඉදිරියේ ඇති තරග තුනම ජයගෙන අවසන් පූර්ව වටයට පිවිසීම ඒකම අපේක්ෂාව බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පැවසීය. තරග 4කට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කාන්තාවෝ ඉන්දියාව හා එංගලන්තය සමඟ තරග පරාජය වී ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 2කට සීමාවී 7 වැනි ස්ථානයේ පසුවන හෙයින් ඉදිරියට පැමිණීම උදෙසා බලවත් අරගලයක නිරත වී සිටිති.
කාලගුණය ගැන සිතමින් සිටිනවාට වඩා, ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ශුභවාදීව සිටින අතර දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය සහ පාකිස්තානයට එරෙහි ඔවුන්ගේ අවසන් තරග තුන ජයග්‍රහණය කොට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට තවමත් අවස්ථාවක් ඇති බව විශ්වාසය පළ කරන්නීය.
පෙරේදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිමේ විවේකයෙන් පසු තරගය අත්හැර දැමීමෙන් ශ්‍රී ලංකාවට සහ නවසීලන්තයට ලකුණු එක බැගින් බෙදා ගැනීමට සිදු විය. “අනිවාර්යයෙන්ම ඊළඟ තරගය අපට ඉතා වැදගත්, මොකද අපි ඉදිරි තරග තුනම ජයග්‍රහණය කළ යුතුයි. අපි ඊළඟ තරගය කෙරෙහි පූර්ණ අවධානය යොමු කරනවා. අපි සමහර ස්ථාන දියුණු කරගත යුතු බව මම දන්නවා. ඊළඟ තරගය වැස්සකින් තොරව ක්‍රීඩා කළ හැකි යැයි මා බලාපොරොත්තු වෙනවා” අතපත්තු පැවසීය.


