තීරණාත්මක ශ්‍රී ලංකා-නවසීලන්ත තරගය අද
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම අද මුහුණ දෙන තරගය ජයගත යුතු අනිවාර්ය තරගයක් බව ශ්‍රී ලංකා පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා අවධාරණය කරයි. නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිල මෙරටදී ජයග්‍රහණ රැසක් අත්කරගෙන ඇති බැවින් හොඳ සූදානමකින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පිටියට පිවිසෙන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පුහුණුකරු පැවසීය.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති මාධ්‍ය හමුවකදී රුමේෂ් රත්නායක මහතා මේ බව සඳහන් කළේය.
“පිතිකරණයේ වගකීම ගත යුතු ඉදිරි හා මැද පෙළ පිතිකාරිනියන් 6ක් කණ්ඩායමේ සිටිනවා. ඔවුන්ගෙන් එක් අයකු අසමත් වුවත්, තවත් අයකු වගකීම දරා ඉදිරියට පැමිණිය යුතුයි. මේ ලෝක කුසලාන තරගාවලියේ තවමත් එවැනි තත්ත්වයක් ශ්‍රී ලංකා කාන්තා පිලේ දක්නට ලැබුණේ නෑ. නවසීලන්තයට එරෙහිව අපි හොඳින් ක්‍රීඩා කොට තිබෙනවා. ඒ අත්දැකීම් අද තරගයේදී ප්‍රයෝජනයට ගත යුතුයි” රත්නායක මහතා පැවසීය.
“අපිට තියෙන අඩුපාඩුකම් ගැන කතා කරලා තියෙනවා. ඒවා අපි දැන් හදාගෙන තරගයට සහභාගි වෙන්නේ. උඩ පන්දුවක් ගිලිහුණාම විශාල අවාසියක් වෙනවා. ඒක හදාගත යුතු දුර්වලතාවක්. කලින් අපි සැලසුම් හදනවා. නමුත් ඇතැම් වෙලාවට එකක් ප්ලෑන් කරන්නේ. වෙන දෙයක් වෙන්නේ. පුහුණුකරුවෙක් ලෙස එවැනි අවස්ථා ප්‍රහේලිකාවක්. ඒ නිසා අපි කොතැනද වරදින්නේ කියලා බලලා ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනවා. වැරදි හදාගෙන ඉදිරි ජයග්‍රහණ බලාපොරොත්තු වෙනවා” කාන්තා ක්‍රිකට් පුහුණුකරු පැවසීය.


