ආසියානු කුසලානය ගැන ඉන්දියාවට කොන්දේසියක්
ආසියානු කුසලාන අවසන් මහා තරගයෙන් ජයගත් ඉන්දීය ක්‍රීඩකයෝ සම්මාන ප්රදානෝත්සවයේදී කුසලානය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ හෙයින් කුසලානය සහ පදක්කම් ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි ක්‍රිකට් ආයතනයට යැවීමට කටයුතු කරන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය මුලින් සඳහන් කළ ද, එය ලබාදීමට නම් ඉන්දීය ක්‍රිකට් ආයතනය පිළිපැදිය යුතු කොන්දේසියක් පනවා ඇත.
විධිමත් උත්සවයක් සංවිධාන කොට සම්මාන ප්රදානය කළහොත් ඉන්දීය කණ්ඩායමට යළිත් කුසලානය හා පදක්කම් ලබාගත හැකි බව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති, පාකිස්තාන මත්ද්‍රව්‍ය පාලන හා අභ්‍යන්තර ඇමැති මොහ්සින් නක්වී මහතා ඉන්දීය ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පසුගිය ඉරිදා පැවති අවසන් මහා තරගය නිමාවී පැය එකහමාරක පමණ ප්‍රමාදයකින් තෑගි ප්රදානය සිදුවූ අතර, උත්සවය පෙර නොවූ විරූ නාට්‍යාකාර අවසානයක් විය.
ඉන්දියාව කුසලානය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ විට, නක්වි මහතා ඉවතට ගිය අතර, සංවිධායක මණ්ඩලයේ පිරිසක් ඔහු පසුපසින් කුසලානය ද රැගෙන ප්‍රේක්ෂකාගාරයට ගියහ. පසුව අනාවරණය වූයේ ඉන්දියාවට අයිති ආසියානු ක්‍රිකට් කුසලානය ඩුබායි ක්‍රීඩාංගණයට කිලෝමීටර් 4ක් පමණ දුරින් පිහිටා ඇති ආසියානු ක්‍රිකට් මූලස්ථානයේ තාවකාලිකව තැන්පත් කිරීමට පියවර ගෙන ඇති බවයි. මේ ස්ථානයට ආසන්නව ඉන්දීය ජාතික ජේ ෂා මහතා සභාපතිත්වය දරන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයිසීසී) මූලස්ථානය ද පිහිටා ඇත.


