leadsportz

වෛරයේ ගින්න ඇවිළවූ ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් ගැටුම

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටය යටතේ ඉන්දියාව සහ පාකිස්තානය අතර ඊයේ(22) පැවති තරගය නිමාවට පත්වුණේ ඉන්දියාවට පහසු ජයග්‍රහණයක් අත්කර දෙමින්.එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය ලබාගත් ලකුණු 171 පන්දුවාර 18.4කදී කඩුළු 4ක් පමණක් දැවී පසුකර යාමට ඉන්දියාව සමත් වුණා.ඒ අනුව, ඉන්දියාව මේ වනවිට ආසියානු කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා.

අවසන් ප්‍රතිඵලය කුමක් වුණත්,ඊයේ තරගය ගලාගියේ බොහොම උද්වේගකර ආකාරයටයි.හරියටම කීවොත්,ඉන්දු – පාකිස්තාන දේශපාලන අර්බුදයේ ගිනි පුපුරු නැවත වරක් ක්‍රිකට් පිටිය මත දැල්වුණු තරගයක් ලෙස මෙය හැඳින්වූවත් වැරදි නැහැ.
ඉන්දියාව සමග පැවති මූලික වටයේ තරගයේදී , ඉන්දියානු අතට අත නොදීමේ ආන්දෝලනාත්මක සිදුවීමට තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට්ද වගකිවයුතු බවට පාකිස්තානය චෝදනා නගා තිබුණා.කොහොමනමුත්,මෙම සුපිරි 4 වටයේ තරගයේදීත් තරග තීරකවරයා ලෙස කටයුතු කළේ ඇන්ඩි පයික්‍රොෆ්ට්මයි.
පෙර පැවති තරගයේදී මෙන් මෙම තරගයේදීත්,තරගය ආරම්භයට පෙර හෝ අවසානයේ දෙරටේ නායකයන් අතර හෝ අනෙකුත් ක්‍රීඩකයන් අතර අතට අතදීමක් සිදුවුණේ නැහැ.ඒ වගේම මේ ඇවිලෙමින් තිබුණු ගින්නට පිදුරු දමන ආකාරයේ සිදුවීම් කිහිපයකුත් ඊයේ පිටිය මැදදී දකින්නට ලැබුණා.
ඉන් එක් සිදුවීමක් තමයි,පාකිස්තාන ආරම්භක පිතිකරු Sahibzada Farhan අර්ධ ශතකය ලබාගැනීමෙන් අනතුරුව තුවක්කුවකින් වෙඩි තබන ආකාරයට සිය පිත්ත හසුරවමින් අර්ධ ශතකයේ ප්‍රීතිය සැමරීම.
ඒ වගේම , පාකිස්තානු වේග පන්දු යවන ක්‍රීඩක හැරිස් රවුෆ් හතරේ සීමාව අසල පන්දු රකිමින් සිටියදී ඉන්දීය ප්‍රේක්ෂකයන් වෙත 6-0 යන්නත්,ගුවන් යානායක් ඇදවැටෙන අයුරුත් හස්ත සංඥාවෙන් ප්‍රදර්ශනය කරනු දැකගන්නට ලැබුණා.මෙය සින්දූර් මෙහෙයුමෙන් පසුව සිදුවූ හමුදා ගැටුමකදී ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා 6ක් පාකිස්තාන හමුදාව විසින් බිම හෙළීම පිළිබඳ සිහි කැඳවීමක් බව කවුරුත් දන්නා කාරණයක්.ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ගේ ඇස්වලට කටුවලින් අනින්නාක් බදු වූ මෙම සිදුවීම පිළිබද ඉන්දීය මාධ්‍ය මේ වනවිටත් ඉතා ඉහළින්ම උලුප්පා දක්වමින් සිටිනවා.
මීට අමතරව ඉන්දීය ආරම්භක පිතිකරු අභිශේක් ෂර්මා සහ හැරිස් රවුෆ් අතරත් පිටිය මැදදී උණුසුම් වචන හුවමාරුවක් සිදුවන අයුරු තරගය අතරතුරදී දැකගන්නට ලැබුණා.

මේ සියලු සිදුවීම් දෙරට අතර ක්‍රීඩකයන්ගේ පමණක් නොව සමස්ත ජනතාවගේත් සිත් තුළ වෛරයේ ගිනිදැල් දැල්වීමට සමත්වූ වග රහසක් නෙවෙයි.රටවල් අතර භූ දේශපාලනික වශයෙන් කොතරම් එදිරිවාදිකම් තිබුණත් ක්‍රීඩා පිටිය මැදදී ඒ සියල්ල අමතක කර ක්‍රීඩකයන් අතට අතදී විසිර යාම පිළිබද උදාහරණ ඕනෑතරම් තිබෙනවා.නමුත් ඉන්දු-පාකිස්තාන ගැටුම මේ වනවිටත් ඉන් ඔබ්බට ගොස් අවසානයි.
ඉන්දියාවට සහ පාකිස්තානයට මෙවර ආසියානු කුසලාන තරගාවලිය තුළදී මුණගැසීමට තවත් එක් අවස්ථාවක් තිබෙනවා.
එසේ සිදුවන්නේ දෙරටම අවසාන මහා තරගය සදහා සුදුසුකම් ලැබුවොත් පමණයි.
එසේවුවහොත්,මීටත් වඩා උද්වේගකර තරගයක් එදාට දැකගන්නට ලැබෙනවාට සැකයක් නැහැ.

Scroll to Top