පැතුම් - තුෂාර විස්සයි20 පිටියේ ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිකුත් කළ නවතම විස්සයි20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් රැසක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.
මේ අතරින් පැතුම් නිශ්ශංක පිතිකරුවන් අතරේත්, නුවන් තුෂාර පන්දු යවන්නන් අතරේත් මුල් ස්ථාන 6ට පැමිණීමට සමත්ව තිබීම කැපීපෙනේ.
ආසියානු කුසලාන තරගාවලියේදී පිට පිට අර්ධ ශතක දෙකක් රැස් කළ පැතුම් නිශ්ශංක එක් ස්ථානයක් ඉදිරියට එමින් 6 වැනි තැන ගෙන ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 751ක් සමඟිනි. එය මේ ශ්‍රේණිගත කිරීම්වල ඔහු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ද වෙයි. කුසල් ජනිත් පෙරේරා 9 තැනත්, කුසල් මෙන්ඩිස් 17 වැනි තැනත් රැඳී සිටින අතර, නායක චරිත් අසලංක (53) ස්ථාන 5ක් පසුබැස තිබේ.
නුවන් තුෂාර ස්ථාන 6ක් ඉදිරියට එමින් 6 වැති තැන ගෙන සිටින අතර, ඔහු ශ්‍රේණිගත ලකුණු 677ක් හිමිකර ගෙන තිබේ. වනිඳු හසරංග (664) 7 වැනි තැනම සිටින අතර, මුල් පන්දු යවන්නන් 100 දෙනා අතර නොසිටි දුෂ්මන්ත චමීර කැපීපෙනෙන ලෙස ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 33කිනි. ඔහු මේ වන විට ලකුණු 441ක් සමඟ 78 වැනි තැන අත්කර ගෙන තිබේ.


