ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගයේ ටිකට්පතක මිල 55,000යි
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ හෙට (13) පැවැත්වෙන ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අබුඩාබිහි පැවැත්වෙන තරගයේ ප්‍රවේශ පත්‍රයක උපරිම මිල එක්සත් අරාබි ඩිරාම් 650ක් (ශ්‍රී ලංකා රුපියල් පනස් පන් දහසක් පමණ) වන අතර, ටිකට්පතක අවම මිල ඩිරාම් 90ක් (ශ්‍රී ලංකා රුපියල් හත්දහස් පන්සීයක් පමණ) වේ. මේ ටිකට්පත් ‘ඔන්ලයින්’ ක්‍රමයට හා අබුඩාබි ෂෙයික් සයේඩ් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ විශේෂ කුටියකින් මිලදී ගැනීමේ අවස්ථා සලසා ඇත.
ශ්‍රී ලංකා වේලාවෙන් හෙට රාත්‍රී 8.00ට ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය ආරම්භ වන අතර, ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය මෙය බැවින් ජයග්‍රහණය වැදගත් සාධකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක චරිත් අසලංක සියලු නායකයන් සමඟ පැවැත්වූ මාධ්‍ය හමුවේදී පැවසුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණයට හුරුවීම වැදගත් වන බවයි.
“අපේ යෝග්‍යතාව ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්. ඒ වගේම අපි හැමෝම දන්නවා මේ දිනවල ඩුබායි අබුඩාබි ප්‍රදේශවල හරිම උණුසුම් කියලා. කණ්ඩායමක් ලෙස නැවුම්ව සිටීම සහ පළමු තරගයේදී සියයට සියයක් ලබා දීම ඇත්තෙන්ම වැදගත්.”යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.


