ස්ටාක් විස්සයි20න් නවතී
ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් විස්සයි20 ක්‍රිකට් තරග රටාවට සමුදීමට තීරණය කර තිබේ.
ඉන්දීය ටෙස්ට් සංචාරය සහ අළු බඳුන තරගාවලිය ඇතුළුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලබන වසරේ සිට අඛණ්ඩව ටෙස්ට් තරගාවලි රැසකට ක්‍රීඩා කරන අතර, එම කාර්ය බහුල ටෙස්ට් කාලසටහනට මෙන්ම 2027 වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරමින් ස්ටාක් විස්සයි20 තරග බිමෙන් ඉවත් වී තිබේ.
තමා නිරතුරුවම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රමුඛතාව ලබා දෙන බවත්, ඒ වෙනුවෙන් තම උපරිමයෙන් යෝග්‍යතාව රැක ගැනීමට හොඳම තීරණය මෙය බවත් ස්ටාක් පවසා තිබේ.
ජාත්‍යන්තර විස්සයි20 තරග 65කට ක්‍රීඩා කර ඇති ස්ටාක් එහිදී කඩුලු 79ක් දවා ගැනීමට සමත්ව තිබේ. 2021 විස්සයි20 ලෝක ශූර ඔස්ට්‍රේලියානු පිලේ සාමාජිකයකු ද වූ ස්ටාක් ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඔස්ට්‍රේලියානු පන්දු යැවීමේ කණ්ඩායම සකස් කර ගැනීමට අවශ්‍ය කාලය ලබාදීමත් මේ සමුගැනීමට හේතුවක් බව පවසයි.


