ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ තරගාවලිය සඳහා පිටත්ව යයි
ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර කණ්ඩායමේ ඇති සියලු අඩුපාඩු සකසා ගැනීම සිම්බාබ්වේ තරගාවලියේ අපේක්ෂාව බව ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 නායක චරිත් අසලංක පැවසීය.
තරග 2කින් සමන්විත එක්දින තරගාවලියට සහ තරග 3කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය උදෙසා සිම්බාබ්වේ බලා පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී චරිත් අසලංක එලෙස පැවසීය.
සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා මධ්‍යම රාත්‍රියට ආසන්න වෙද්දී ක්‍රිකට් මූලස්ථානයෙන් පිටත්ව ගියේය.
“ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට කලින් පැවැත්වෙන සිම්බාබ්වේ තරගාවලිය අපිට හොඳ සූදානමක්. බංග්ලාදේශය සමඟ විස්සයි20 තරගාවලියක් අපේ රටේ ක්‍රීඩා කළා. ඒකත් අපි කළේ ආසියානු කුසලාන තරගාවලියට හා ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් විදිහටයි. ඒ නිසා සිම්බාබ්වේට එරෙහි තරගාවලියේදී සියලු අඩුපාඩු හදාගෙන ආසියානු කුසලානයට යද්දි හොඳම කණ්ඩායමක් විදියට යන්න පුළුවන්” චරිත් අසලංක පැවසීය.


