ආසියානු කුසලාන තරගයකදී තත්පරයක වටිනාකම ලක්ෂ 5 පනී
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තරගයක තත්පර 10කින් යුත් වෙළෙඳ දැන්වීමක් එක් වරක් විකාශය කර ගැනීම වෙනුවෙන් අය කරන මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 16ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 56ක්) පමණ වනු ඇතැයි ඊයේ විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගයක එක් තත්පරයක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් පන් ලක්ෂ හය දහසක් පමණ වනු ඇත. මේ මුදල ඉන්දියාව සහභාගිවන තරගවලදී තව තවත් ඉහළ යනු ඇතැයි විශ්වාස කෙරේ.
තරගාවලියේ නිල රූපවාහිනී විකාශන අයිතිය මෙවර හිමිව ඇත්තේ සෝනි ටී.වී මාධ්‍ය ජාලයට වන අතර, එහි සම අනුග්‍රාහකත්ව මුදල ඉන්දීය රුපියල් කෝටි 18ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 62ක්) වන අතර, සහකාර අනුග්‍රාහකත්වය ඉන්දීය රුපියල් කෝටි 13ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 45ක්) වේ.
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ලබන සැප්තැම්බර් 9 වැනිදා ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින අතර, වංචනික ටිකට් පත් අලෙවිය ආරම්භ වී ඇති බවට තොරතුරු ලැබී ඇති හෙයින් සැලකිලිමත් වන ලෙස ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.


