මලල ක්‍රීඩා ඡන්දය දින නියමයක් නැතිව කල් දමයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමන ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝග කොට ඇත.
අද දින පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා මහා සභා රැස්වීම සහ නිලවරණය නොවැළැක්විය හැකි තත්ත්වයක් හේතුවෙන් කල් දමන බවත්, නව දිනය පසුව දැනුම් දෙන බවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට දැනුම් දුන්නේය.
මේ අතර, නිසි පරිදි පත්කොට නැති නිලවරණ කමිටුව සංශෝධනය කරන ලෙසත්, එම නිලවරණ කමිටුව මඟින් ප්‍රතික්ෂේප කොට තිබූ වෛද්‍ය ධම්මික සේනානායක මහතාගේ ලේකම් තනතුරට අදාළ නාමයෝජනාව පිළිගත යුතු බවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වී. ප්‍රේමචන්දිරන් මහතා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට ලිඛිතව දැනුම්දී ඇත.
වෛද්‍ය ධම්මික සේනානායක මහතා සිය නාමයෝජනා පත්‍රය සමඟ වත්කම් බැරකම් ප්‍රකාශ සම්පූර්ණ කොට නැති බව පවසා එම නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීමට නිලවරණ කමිටුව පියවර ගත් අතර, විරෝධතා ඉදිරිපත් වූ අනෙකුත් සියලු නාමයෝජනා පිළිගන්නා බව පැවසීය.
මේ හේතුවෙන් වෛද්‍ය ධම්මික සේනානායක මහතා සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම පදනම් විරහිත බවට රුපියල් 25,000ක මුදල් ගෙවූ රිසිට් පතක් සමඟ අභියාචනා උපදේශන කමිටුව හමුවේ කරුණු දැක්වූ අතර, එය විභාග කිරීමෙන් අනතුරුව ලේකම් තනතුරේ නාමයෝජනාව පිළිගැනීමට තීරණය විය.


