තීරණාත්මක අවසන් ගැටුමට ශ්‍රී ලංකා රග්බි පිල නම් කෙරේ
ආසියානු රග්බි ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තෙවැනි සහ අවසන් තරගය ලෙස හෙට (4 වැනිදා) කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වීමට නියමිත එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි තරගය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (2 වැනිදා) නිවේදනය කෙරිණි.
තරගාවලියේ දකුණු කොරියාව සමග තරගයේ මෙන්ම හොංකොං සමග තරගයේද නායකත්වය දැරූ තරින්ද රත්වත්තේ හෙට තරගය සඳහා ද නායකත්වය දරන අතර තරගාවලියේ පෙර තරග දෙකෙහිදීම කණ්ඩායමේ අවස්ථාවක් හිමි නොවූ ෆ්ලැන්කර් ක්‍රීඩක නිස්රාන් නිල්ලර් සංචිතයට කැඳවා ඇත.
ඔස්ට්‍රේලියාව සත්කාරකත්වය දරන 2027 රග්බි ලෝක කුසලාන සඳහාද සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම ආසියානු රග්බි ශූරතාවලියේ, මේ වන විට ප්‍රසාද ලකුණු සටහනෙහි අවසන් ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ සඳහා අවස්ථාව අහිමිව තිබෙන නමුත් එක්සත් අරාබි එමීර් කණ්ඩායමට ඒ සඳහා තවමත් බලාපොරොත්තුවක් ඉතිරිව පවතී. කෙසේ වෙතත් හෙට තරගය ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනෙහි තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව පවතී. යම් හෙයකින් තරගය පරාජය වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු ප්‍රමුඛ කාණ්ඩයේ රැඳී සිටීම සඳහා ආසියානු පළමු කාණ්ඩයේ ජයග්‍රාහකයන් සමග තරග කිරීමටද සිදුවනු ඇත.
ශ්‍රී ලංකා සංචිතය
තරින්ද රත්වත්තේ (නායක), ලසිඳු කරුණාතිලක (උප නායක), මලිත විජේසුන්දර, ශාමික කෞෂාන්, විමුක්ති ගමගේ, නවීන් මාරසිංහ, තිළිණ බණ්ඩාර, නිස්රාන් නිල්ලර්, තරිඳු චතුරංග, දුෂ්මන්ත ප්‍රියදර්ශන, පුලස්ති දසනායක, නිරෝෂ් පෙරේරා, අම්ජාඩ් ෆවුමි, දිල්ෂාන් ජය, චතුර සොයිසා, මොහොමඩ් රිෆාන්, දිනාල් ඒකනායක, ආකාෂ් මධුසංක, ඇඩම් ගෞඩර්, පසිඳු බණ්ඩාර, මුර්ෂිද් දොරේ, ෂාහිඩ් සුම්රි, ප්‍රමේෂ් ධනුෂ්ක, තෙනුක නානායක්කාර, නවීන් කණිෂ්ක


