පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 77ක පෙරළිකාර ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (2) සමත් විය.
දිවාරාත්‍රී තරගයක් ලෙස මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්විණි.මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 245ක ඉලක්කයට පිළිතුරු ලෙස බංග්ලාදේශයට පන්දුවාර 35.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 167ක් පමණි.
බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල මුලු ලකුණු 29 දී දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවුවද, ඔවුන්ට දෙවන කඩුල්ල දවාගැනීමට ඉනිමට තවත් ලකුණු 71ක් එක්වනතෙක් බලාසිටීමට සිදුවිය.ඒ දෙවන කඩුල්ලට නජ්මුල් හුසේන් ශාන්ටෝ හා තන්සිද් හසන් ගොඩනැගූ ලකුණු සබඳතාව හේතුවෙන්ය.
කෙසේ වෙතත් එහිදී ශාන්ටෝ මුලු ලකුණු 100ක් වෙද්දී දවාගැනීමෙන් පසු ඉනිමට තවත් ලකුණු 5ක් එක්වද්දී බංග්ලාදේශ ඉනිමේ තවත් කඩුලු 6ක් උදුරාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
මෙහිදී අංක 7 පිතිකරු ලෙස පැමිණි ජකීර් අලි ලකුණු 51ක් රැස්කරමින් මුස්තෆිසූර් රහමාන් සමග අවසන් කඩුල්ලට ලකුණු 42ක සබඳතාවක් ගොඩනැගුවේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ වනිඳු හසරංග ලකුණු 10ක් පමණක් ලබාදෙමින් කඩුලු 4ක් දවාගත්තේය.එමෙන්ම කමිඳු මෙන්ඩිස් ද කඩුලු 3ක් දවාගත්තේය.මෙම ජයත් සමග තරග 3කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන සිටියි.


