මලල ක්‍රීඩා නාමයෝජනා කැඳවීම අවසන්
දින නියමයක් නොමැතිව කල් දමා තිබූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණයට අදාළ නාමයෝජනා ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී මලල ක්‍රීඩා නිලවරණ කමිටුව විසින් භාරගත් අතර, සභාපති තනතුරට ද්වන්ධ සටනක් නිර්මාණයවී තිබේ. හිටපු ප්‍රවීණ මලල ක්‍රීඩක හා හිටපු මලල ක්‍රීඩා සභාපතිවරයකු වූ සුනිල් ගුණවර්ධන හා කොළඹ ආනන්ද විදුහලෙන් බිහිවූ මලල ක්‍රීඩක විමල් විජේසිංහ යන මහත්වරු මෙවර මලල ක්‍රීඩා මුල් පුටු සටනට ඊයේ නාමයෝජනා භාර දුන්හ.
සුනිල් ගුණවර්ධන පාර්ශ්වයෙන් ලේකම් තනතුරට ආසියානු මලල ක්‍රීඩා වෛද්‍ය ප්‍රධානී හා ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ධම්මික සේනානායක මහතා ඉදිරිපත්ව සිටින අතර, එම පාර්ශ්වයෙන් භාණ්ඩාගාරික තනතුරට ගිණුම්කරණ විශේෂඥයකු ලෙස සැලකෙන රුවන් හේවගේ මහතා නාමයෝජනා ලබා දුන්නේය.
විමල් විජේසිංහ පාර්ශ්වයෙන් ලේකම් තනතුරට මලල ක්‍රීඩා පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් ක්‍රීඩකයන් රැසක් බිහි කළ මාධව බණ්ඩාර සෙනරත් හා භාණ්ඩාගාරික තනතුරට ගිණුම්කරණ විධායක නිලධාරිනියක් වූ රසිකා නිලංගනී යන මහත්ම මහත්මීහු නාමයෝජනා ලබා දුන්හ.


