තුන්කොන් තරගාවලියෙන් ඇෆ්ගනිස්තානය ඉවතට
ඇෆ්ගනිස්තානයේ පක්ටිකා පළාතේදී එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු මියයෑමත් සමඟ එයට විරෝධය පළ කරමින් පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබූ තුන්කොන් තරගාවලියෙන් ඉවත් වීමට ඇෆ්ගනිස්ථානය තීරණය කරයි. ශ්‍රී ලංකාව ද සහභාගිවන මේ විස්සයි20 තරගාවලිය නොවැම්බර් 17 සිට 29 දක්වා රාවල්පින්ඩි සහ ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතව තිබිණි.
මේ අතර, පාකිස්තානයේ පැවැත්වෙන එම තරගාවලියට සිම්බාබ්වේ කණ්ඩායම කැමැත්ත පළකොට ඇත. මෙම තුන්කොන් තරගාවලිය නොවැම්බර් 17 සිට 29 දක්වා පකිස්තානයේ ලාහෝර් සහ රාවල්පින්ඩිහිදී පැවැත්වේ.
ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් වන කබීර් ආගා, සිබ්ගතුල්ලා සහ හරූන් යන අයගේ ඛේදජනක මරණ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැඩි ශෝකයට හා කම්පනයට පත්ව සිටී. දීප්තිමත් දක්ෂයන් තිදෙනෙකුගේ පවුල්, ප්‍රජාවන් සහ ක්‍රිකට් ලෝකය කොල්ලකෑ මෙම ප්‍රචණ්ඩ ක්‍රියාව අයිසීසීය දැඩි ලෙස හෙළා දකින බවත් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් මණ්ඩලය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් දන්වා සිටී.


