ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය ශක්තිමත් කිරීමට විදෙස් පුහුණුකරුවන් දෙදෙනකු පත් කර ඇත. ඒ අනුව, ජුලියන් වුඩ් පිතිකරණ පුහුණුකරුවා ලෙසත් රේන් ෆර්ඩිනැන්ඩ්ස් දඟ පන්දු යැවීමේ පුහුණුකරුවා ලෙසත් පත් කර තිබේ. ජුලියන් වුඩ්ගේ පත්වීම 2025 ඔක්තෝබර් 1 සිටත්, රේන් ෆර්ඩිනැන්ඩ්ස්ගේ පත්වීම 2025 සැප්තැම්බර් 30 සිටත් බලපැවැත්වේ. වුඩ් වසරක කාලයක් සඳහාත් ෆර්ඩිනැන්ඩ්ස් වසර දෙකක කාලයක් සඳහාත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ සේවය කරනු ඇත.
‘පවර් හිටිං’ හෙවත් ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීමේ නිර්මාතෘවරයා ලෙසින් සැලකෙන ජුලියන් වුඩ් ඉකුත් අගෝස්තු මසදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමග කටයුතු කරමින් ජව සම්පන්න කුසලතා පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ගුරුහරුකම් ලබා දුන්නේය. මෙහිදී ක්‍රීඩකයින්ගේ පන්දුවට පහර දීමේ බලය වැඩි දියුණු කිරීම සඳහා ක්‍රිකට් ශිල්පීය ක්‍රම පුහුණු ක්‍රම සහ ජෛව යාන්ත්‍ර විද්‍යාව සමග ඒකාබද්ධ කරමින් පුහුණු කිරීම සඳහා ඔහු ප්‍රසිද්ධියක් උසුලනු ඇත.
ජාතික දඟ පන්දු පුහුණුකරු තනතුරට පත්ව සිටින ෆර්ඩිනැන්ඩ්ස්, වයිකාටෝ විශ්වවිද්‍යාලයෙන් ජෛව යාන්ත්‍ර විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා තිබේ. ක්‍රිකට් ක්‍රීඩාවේ කාර්ය සාධනය වැඩි දියුණු කිරීම පිළිබඳ පුළුල් විශේෂඥතාවක් ඇති ෆර්ඩිනැන්ඩ්ස්, මීට පෙර ඉන්දීය ජාතික ක්‍රිකට් ඇකඩමිය සමග සේවය කර තිබේ. ඊට අමතරව ප්‍රධාන පෙළේ ක්‍රීඩකයින්ට මෙන්ම පුහුණුකරුවන්ට ජෛව යාන්ත්‍ර විද්‍යාව පදනම් කරගත් පුහුණුකරණ වැඩසටහන් කීපයක් ද පවත්වා තිබේ.


