ජනිත් ලියනගේ ආසියානු කුසලාන සංචිතයට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඊයේ (9) ආරම්භ වූ ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වී සිටින ශ්‍ර්‍රී ලංකා සංචිතයට ජනිත් ලියනගේ නම්කර තිබේ.
ඒ අනුව ඔහු සමගින් 17 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
තරගාවලියට එක් වීම සඳහා ජනිත් ලියනගේ සහ ආබාධ තත්ත්වයෙන් සුවය ලැබා සිටින වනිඳු හසරංග මෙරටින් පිටත්ව ගොස් ඇත.
තුන් ඉරියව් ක්‍රීඩක ජනිත් ලියනගේ සිම්බාබ්වේ තරගාවලියේදී එක්දින තරගාවලියට පමණක් ක්‍රීඩා කළ අතර තරගාවලියෙන් අනතුරුව මෙරටට පැමිණ සිටි ඔහුව පිතිකරණ අංශය ශක්තිමත් කිරීම සඳහා පසුව ආසියානු කුසලාන සංචිතය සඳහා ඇතුළත් කර ඇත.
මේ අතර සිම්බාබ්වේ තරගාවලිය නිමා කළ ශ්‍රී ලංකා සංචිතය ඊයේ උදෑසන එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ළඟා වී තිබුණි. තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවැති කණ්ඩායම් නායකයන්ගේ මාධ්‍ය හමුවේදී ජනිත් ලියනගේ සංචිතයට ඇතුළත් කිරීම පිළිබඳව යොමු වුණු පැණයකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක, වර්තමානයේ හොඳින් ලකුණු අතර සිටින පිතිකරුවකු බැවින් ජනිත් සංචිතයට ඇතුළත් කළ බව සඳහන් කළේය. එමෙන්ම ඔහුගෙන් කණ්ඩායමට උපරිම දායකත්වයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් සඳහන් කළේය. ජනිත් වර්තමාන එක්දින කණ්ඩායමේ නිත්‍ය පිතිකරුවකු වන නමුත් මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 3ක් පමණක් වන අවසන් වරට විස්සයි විස්ස කණ්ඩායම නියෝජනය කිරීමට සමත් වූයේ 2022 වසරේ පෙබරවාරි මාසයේදීය.
ශ්‍රී ලංකාව මූලික වටයේ ප්‍රථම තරගය එළැඹෙන 13 වැනිදා බංග්ලාදේශය සමග අබුඩාබිහිදී ක්‍රීඩා කිරීමට නියමිත අතර දෙවැනි තරගය හොංකොං සමග 15 වැනිදා ඩුබායි හිදීත්, තෙවැනි තරගය ඇෆ්ගනිස්තානය සමග අබුඩාබි හිදීත් පැවැත්වේ


